Sunday, January 16, 2011

ලෝක කුසලාන ක්‍රිකට්

ලෝක කුසලාන ක්‍රීඩාංගණවල තණතිළි හා ආරක්‍ෂාව ගැන පැසසුම්


ලෝක කුසලාන ක්‍රිකට් තරග වෙනුවෙන් ඉදිකරන සූරියවැව, පල්ලේකැලේ හා ඛෙත්තාරාම ක්‍රීඩාංගණවල තණතිළිවල තත්ත්වය හා ක්‍රීඩකයන්ට සැපයෙන ආරක්‍ෂාව පිළිබඳ ජගත් ක්‍රිකට් සමුළු නියෝජිතයෝ සතුට පළ කර ඇත.
ජගත් ක්‍රිකට් සමුළුවේ තණතිළි පිළිබඳ විශේෂඥ ඇන්ඩි ඇට්කින්සන් මහතා ඇතුළු පිරිසක් පෙරේදා මේ ක්‍රීඩාංගණ පරීක්‍ෂා කර බැලූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතා ද සහභාගි විය.
මේ ක්‍රීඩාංගණ තුනේම තණතිළි හා පිටිය ඉතා උසස් මට්ටමක ඇති බවත් ක්‍රීඩකයන්ට ආරක්‍ෂාව ලැබෙන පරිදි ඉදිකිරීම් සිදුකර ඇති බවත් ජගත් ක්‍රිකට් විශේෂඥ පිරිස සහතික කොට ඇත.
ලෝක කුසලතා ක්‍රිකට් තරග වෙනුවෙන් ඉදිකරන ලද ක්‍රීඩාංගණ තුන භාර ගැනීමට හා අවසන් නිරීක්‍ෂණයට පැමිණෙන ජගත් ක්‍රිකට් සමුළුවේ විශේෂ නියෝජිත පිරිසක් මේ 19දා ක්‍රීඩාංගණ දැකබලා ගැනීමට නියමිතය.
කොදෙව් පිල 28දා ශ්‍රී ලංකාව
මේ අතර එක්දින ක්‍රිකට් තරග තුනකට සහභාගීවීම උදෙසා බටහිර ඉන්දීය කොදෙව් පිල මේ මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවැති ටෙස්ට් තරග තුනෙන් පසු වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු එක්දින තරගාවලිය වෙනුවට මේ තරග පැවැත්වේ.
ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර ප්‍රථම එක්දින තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේත්, දෙවැනි හා තෙවැනි තරග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ. මේ තරග ජනවාරි 31 පෙබරවාරි 4 හා 6 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් පිලේ කළමනාකරු ලෙස හිටපු ක්‍රිකට් නායක රිචී රිචර්ඩ්සන් මහතා පත්කර ඇතැයි වාර්තාවේ. 49 වියැති රිචර්ඩ්සන් 1996 දී ජගත් ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය. ඔහු ටෙස්ට් තරග 86කට හා එක්දින තරග 224 කට සහභාගීවී ඇති ප්‍රබල ක්‍රීඩකයෙකි.

No comments:

Post a Comment