Thursday, January 13, 2011

ලෝක කුසලානය 2011

"ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඇතිවීම හෝ නැතිවීම"
පළමු පන්දුවාර 15 මත තීරණය වේ

1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනුවේ පිතිකරණයේ යෙදෙද්දි ප්‍රථම ඕවර 15 නිසායි. ඒ සඳහා ඩෙව් වොට්‌මෝර් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්‌ඩායම් කළමනාකාරීත්වයේ සැලැස්‌මත්, උපාය වේදයක්‌ තිබුණා. එය සනත් හා කලුවිතාරණ හරහා පිටිය මැදදි මුදා හැරියා. එක සැලැස්‌මක්‌ නොවෙයි. එකක්‌ වැරැදුනා නම් ක්‍රියාත්මක කරන්න තව විකල්ප සැලැස්‌ම දෙක තුනක්‌ තිබුණා. මෙවර එවැනි වැඩ පිළිවෙල් තියෙනවද කියල අපි තවම දන්නේ නෑ. තියෙනවා නම් බොහොම හොඳයි. ඒවාට කියන්නේ ප්‍රතිවාදීන් පිළිබඳව ඔවුන්ගේ දක්‍ෂතා හා දුර්වලතා ගැන "ගෙදර වැඩ" කර සටනට සැලැස්‌ම හැදීම කියල.

මේ ප්‍රථම ඕවර 15 වේ ප්‍රහාර දීමේ සැලැස්‌ම මෙවරත් ක්‍රියාවට නංවනවා නම්, උපුල්, ඩිල්ෂාන්, සංගා, මහේලට විශාල පීඩනයක්‌ ඇති කරාවි. මොකද පසුගිය අවුරුදු 1 1/2 ක පැවැති තරගවලදී මෙම පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකා පිලට "ඉගිලීයන" ආරම්භයන් එක දිගට නොලැබුන නිසා මෙම ප්‍රථම ඕවර 15 තුලදී. ඒ නිසා ශ්‍රී ලංකා පිලේ පැවැත්ම හෝ නැතිවීම තීරණය වන්නේ මේ ප්‍රථම ඕවර 15 තුළ වෙන්න පුලුවන්. ශ්‍රී ලංකා පිතිපෙලේ, මැද පෙල පිතිකරුවන්ගෙ අස්‌ථාවර තත්ත්වය තවත් ගැටළු තැනක්‌. නොම්බර 5 ට තිලාන් ගොස්‌ (තිලාන් හෙමින් ඉනිම ආරම්භ කරන්නෙක්‌) නොම්බර 6 ට ඇන්ජලෝ ගියාම පසුව නො. 7 ට යන්නේ කව්ද යන ගැටළුව මතුවෙනවා. චාමර සිල්වාද චාමර කපුගෙදරද තිසර පෙරේරාද යන්න. චාමර සිල්වාත් හෙමින් ආරම්භකයෙක්‌. මේ වන විට ඕවර 35 ක්‌ විතර ගිහිල්ලා තියෙන්නේ. එතනට අවශ්‍ය අතදිග හැර පහර දෙන්නෙක්‌. කපුගෙදර මේ ස්‌ථානයේ මීට පෙර වැඩි දස්‌කම් පෙන්වලා නෑ. මම හිතන විදිහට නො. 7 ට හොඳ සෑම අංශයකින්ම දස්‌කම් පාන තරුණ ක්‍රීඩක තිසර පෙරේරායි. ඔහුගේ මෑත දක්‍ෂතා පිළිබඳ දත්ත ඉතාම ආකර්ශණීයයි. සනත්ට වගේම පන්දුවට වැරෙන් පහරදීමේ හැකියාව ඔහුට තියෙනවා. තිසර, මද වේගපන්දු යවන්නෙකු ලෙස විකට්‌ ගැනුම් අතින්ද සාර්ථකයි. පසුගිය සතියේ නිමාවූ ප්‍රිමිය තරගාවලියේදිත් ඔහු මේ දක්‍ෂතා යළි යළිත් තහවුරු කළා. පිතිකරණය අතින් තරග 4 න් ලකුණු 112 ක්‌ ගත්තා. සාමාන්‍ය 37.33 යි. පන්දු යෑවීමෙන් තරග 4 න් ලකුණු 123 ට විකට්‌ 10 ක්‌ ගත්තා. මූළික වට තරගවලදී වැඩිම විකට්‌ ගැනුම් ලාභියා වෙමින් සාමාන්‍ය 12.30. ඉතින් මේ දක්‍ෂතා දත්ත සමග නො. 7 ට චාමරලා දෙදෙනා වෙනුවට මම නම් තෝරන්නේ තිසරවයි.

ඊළඟට මට තියෙන ගැටළුව වන්නේ පන්දු යවන ඇණිය ගැනයි. විශේෂයෙන්ම රංගන හේරත්ගේ පැමිණීම. අරවින්ද කියන්නේ රංගනව ඇතුලත් කළේ පිලේ පන්දු යෑවීමේ විවිධත්වයක්‌ දීමට කියලයි. රංගන වමත් පා දඟ පන්දු යවන්නෙක්‌. මුරලි හා අජන්ත දකුණත් පිට දඟ හා පා දඟ පන්දු යවන්නන්. වමත් දඟ පන්දු යවන්නෙකු පැමිණීම විවිධත්වයක්‌ මේ ඇණිය තුළ ඇති වෙන බව පිළිගත හැකි උනත් ඒ වමත් දඟ පන්දු යවන්නාගේ වත්මන් හා මෑත කාලීන දක්‍ෂතා සැලකිල්ලට ගැනීම වැදගත් නොවේද විවිධත්වයද වැදගත් වන්නේ. කාලීන දක්‍ෂතාද වැදගත් වන්නේ. වැදගත් තරගාවලියකට ක්‍රීඩකයන් තෝරද්දී යන්න අප සිතා බැලිය යුත්තක්‌.

රංගන හේරත් වෙනුවට ඔහු සමග එම ස්‌ථානයට කරට කර සිටිය ඊළඟ දඟ පන්දු යවන්නා ලෙස මා දකින්නේ 25 හැවිරිදි අඩි 6 ක්‌ උස සුරාඡ් රන්දිව්. සුරාඡ් උස නිසාම මෑතකදී නිමාවූ ඔස්‌ටේ්‍රලියානු සංචාරයේදී එහි ඉලිප්පීම් සහිත විකට්‌වල ඉතා දක්‍ෂ අන්දමින් පන්දු යෑව්වා. තරග තුනකදී ලකුණු 99 කට විකට්‌ 3 ක්‌ ගත්තා. ලෝක කුසලානයේදී ඔස්‌ටේ්‍රලියානු පිල සමග ශ්‍රී ලංකා පිල තරගවදින්නේ ආර්. ප්‍රේමදාස පිටියේදී. මේ අලුත් තණතීරුවේ ශ්‍රී ලංකාවේ වෙනත් තණතීරුවල මා දැක නැති ඉලිප්පීම් ස්‌වභාවයක්‌ තිබුණා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී. සුරාඡ්ට කදිමට ගැලපෙනවා. අපට මුහුණ දෙන්න වෙන ඉන්දීය ප්‍රබල පිලට එරෙහිවද සුරාඡ් පසුගිය කාලයේ විකට්‌ 12 ක්‌ ගෙන තිබෙනවා ලකුණු 450 කට. සුරාඡ්ගේ එක්‌දින තරග 21 න් විකට්‌ 22 ක්‌ ලකුණු 737 කට අරන් තියෙනවා. ඒ විකට්‌ 22 න් 12 ක්‌ම ඉන්දියාවට එරෙහිවයි. අප තරග වදින තවත් කණ්‌ඩායමක්‌ වන සිම්බාබ්වේ පිලට එරෙහිව ඔහු තරග 3 කදී ලකුණු 97 කට විකට්‌ 3 ක්‌ අරන් තියෙනවා. බංග්ලාදේශයට එරෙහිව ලකුණු 91 ට විකට්‌ 4 යි. ගිය සතිය් නිමා වූ ප්‍රිමියර් තරගාවලියේදීත් ක්‍රීඩා කළ රංගන තරග 5 කට ක්‍රීඩා කරලා ගත්තෙ විකට්‌ 2 යි. ලකුණු 186 ක්‌ වැදුනා. රංගනගේ එක්‌දින අන්තර් ජාතික තරග ඉනිම 7 කදී ලබා ඇත්තේ විකට්‌ 9 යි ලකුණු 215 ට. මෙයින් 2010 දී විකට්‌ 4 ක්‌ විතරයි අරන් තියෙන්නේ. සුරාඡ් 2010 දී විකට්‌ 17 ක්‌ අරන් තියෙවනා. 2010 වසරේ එක්‌දින තරවලදී ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නා සේ පෙනෙන්නේත් සුරාඡ් රන්දිව්. මීට අමතරව පිටියේ පන්දු රකින්නෙකු හැටියට සුරාඡ්ට අමතර ධන ලකුණක්‌ද තියෙනවා. ඉන්දියාව සමග පැවැති තරගයකදී ගවුතම් ගාම්භීර් දවා ගැනීමට ඇල්ලූ විශිෂ්ඨ උඩ පන්දුව මට අමතක කරන්න බෑ. උස නිසාම, පිටියේ ඈත හතරේ ලණුව අසල කලාපවල පන්දු රැගකීමටත් යොදා ගත හැකි සම්පතක්‌. මේ සියලු දත්ත හිතුවක්‌කාරයි. නමුත් මේ දත්ත අපට හුගාක්‌ දුරට පැහැදිලි චිත්‍රයක්‌ නිර්මාණය කරදෙනවා. අනෙක්‌ කාරණය තමයි, අජන්ත හා රංගනට වඩා සුරාඡ් හොඳ පිතිකරුවෙක්‌ විත්තිය. ඒ නිසා තමයි පසුගිය සතියේ නිමාවූ අයි.පී.එල්. ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේදී රන්දිව්ට ඩොලර් 80,000 ක හොඳ ලන්සුවක්‌ ලැබුනේත්. අජන්තාට කිසිම ලන්සුක්‌ නැතිව අලෙවි නොවූයේත් විවිධත්වයක්‌ අවශ්‍ය නිසා රංගන පා දඟ පන්දු යවන්නෙකු හැටියට ශ්‍රී ලංකා පිලට ඇතුළත් වෙන විට අනෙක්‌ පිට දඟ පන්දු යවන්නා විය යුත්තේ කවුරුන්ද? වඩා හොඳ සුරාඡ්ද එහෙම නැත්නම් අජන්තාද? එතැනදී තේරීම් කමිටුව අජන්තාව තෝරා ගත්තා. හේතුව හැටියට මම දකින්නේ පිට දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකුට පිලේ ඉඩකත් දීමට බැරි නිසා. එහෙම උනාම සමබරතාවය නැති වෙලා. සාර්ථක දඟ පන්දු යෑවීමේ සංයෝගයක්‌ හදා ගැනීමේ හැකියාව අහිමිවී යනවා. දකුණත් පා දඟ පන්දු යවන්නෙකු නැතිවිට වමත් පා දඟ පන්දු යවන්නෙකු හෝ ඇතුළත් කරගැනීමෙන් එම සමබරතාව, විවිධත්වය ඇති වෙන එක සත්‍ය කරුණක්‌. 2011 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්‌දින තරග වලින් විශ්‍රාම ගන්නා මුරලිදරන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ගොඩනගන සුරාඡ්ට මේ කරුණු කාරණා නිසා 2015 ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තයේ පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන තරගාවලිය තෙක්‌ බලාගෙන ඉන්න සිද්ධ වේවි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වට තරග අවසානයේ ශ්‍රී ලංකාව පළමුවැනි හෝ දෙවැනි ස්‌ථානවලට ආවොත් "ඒ" කොට්‌ඨාශයෙන්, ඊළඟට එන අර්ධ අවසන් පූර්ව වට තරවලදී ශ්‍රී ලංකාවට තරග වදින්න වෙන්නේ (මා හිතන විදිහට) එක්‌කෝ බටහිර ඉන්දීය පිල හෝ බංග්ලාදේශ පිල සමග වන්නට පුලුවන්. මේ පිල් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිලට අපහසුවක්‌ නෑ. එතැනින් පස්‌සේ එන්නේ අවසන් පූර්ව තරග. එහිදී ශ්‍රී ලංකාවට වැටෙන්න හුගාක්‌ ඉඩ තියෙන්නේ ඔස්‌ටේ්‍රලියානු පිල වෙන්න පුලුවන්. ඒ තරගය තියෙන්නේ මාර්තු 29 දා ශ්‍රී ලංකාවේ ආර්. ප්‍රේමදාස පිටියේදී. එදා දැනට වැටී සිටින මේ ඔස්‌ටේ්‍රලියානු පිලට තැලුවොත්, ශ්‍රී ලංකා පිල 2011 අප්‍රේල් මස 02 සෙනසුරාදා ඉන්දියාවේ මුම්බායි හි වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්න වාසනාව උදා කර ගනීවි.

No comments:

Post a Comment