Monday, January 10, 2011

අන්තර් පළාත් එක්දින ක්‍රිකට් අද ඇරැඹේ

 


බස්නාහිර, වයඹ, කඳුරට, රුහුණ සහ ඌව පළාත් අතර පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් එක්දින තරගමාලාව අද (11) එස්.එස්. සී..පිටියේ දී ආරම්භ වේ.
ජාතික කණ්ඩායමේ සහ ක්‍රීඩා සමාජ තුල සිටින ප්‍රබල ක්‍රීඩකයන් තරග වදින මේ තරගාවලිය ජනවාරි 26 දා දක්වා පැවැත්වීමට නියමිතය.
අන්තර් පළාත් තරගාවලිය අද ඇරැඹීමේ හේතුවෙන් දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවී ඇතැයි වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයකු ‘දිනමිණ’ට පැවැසීය.
වෙළෙඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙමින් තිබිය දී අන්තර් පළාත් එක්දින තරගාවලිය ආරම්භ වීමෙන් තම සංගමය විසින් මෙහෙයවනු ලබන වෙළෙඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි එම සංගමයේ ප්‍රකාශක වැඩිදුරටත් පැවැසීය.
වෙළෙඳසේවා ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග ඊයේ අවසන් වූ අතර පිලිමලුන් පිටුදැකීමේ දෙවැනි වටය හෙට (12) ඇරැඹීමට නියමිතය. අවසන් පූර්ව තරග 15 වැනිදා ත් අවසන් මහා තරගය 22 වැනිදාත් පැවැත්වේ. ඉන් අනතුරුව වෙළෙඳසේවා විස්සයි 20 තරගාවලිය ආරම්භ වීමට නියමිතය.
වෙළෙඳසේවා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, ජෝන් කීල්ස්, යුනිචෙලා, ජනශක්ති සහ මාස් ඇක්ටිව් කණ්ඩායම් සඳහා තරග වදින ක්‍රීඩකයෝ අතර අන්තර් පළාත් එක්දින තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකයෝ අතිවිශාල සංඛ්‍යාවක් සිටිති.
අන්තර් පළාත් තරගාවලිය යටතේ හෙට (12) සහ 15 වැනිදා එස්. එස්.සී. පිටියේ දී කඳුරට රුහුණු සහ රුහුණු ඌව තරග පැවැත්වෙන අතර ඒ දිනවල ම වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලිය පිළිමලුන් පිටු දැකීමේ තරග වටයත් අවසන් පූර්ව තරගත් පැවැත්වේ.
මේ හේතුවෙන් තරගාවලි දෙකෙහිම ප්‍රමිතියට හානිකර තත්ත්වයක් උදාවන අතර ක්‍රීඩකයන් ද දැඩි අපහසුතාවයකට පත්වී සිටිති. අනිත් අතට එකදිගට ක්‍රීඩාවේ නිරතවීමට සිදුවීමේ හේතුවෙන් ශාරීරිකව ආබාධවලට ගොදුරුවීමේ ඉඩකඩක් ද නිර්මාණය වෙමින් පවතී. ලෝක කුසලාන තරගාවලිය ආසන්නයේ දී මෙසේ අවිවේකී තරග කාලසටහනකට ක්‍රීඩා කිරීමෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ක්‍රීඩකයන්ට මින් දැඩි බලපෑමක් එල්ලවනු නිසැකය.
පවතින තත්වය පිළිබඳව කළ කරුණු විමසීමකදී වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයේ ප්‍රකාශකයකු දිනමිණට පැවසුවේ තම සංගමය මේ තරගාවලිය සඳහා දින වෙන්කරනු ලැබුවේ මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිළධාරීහු සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව බවය. එමෙන්ම පිළිමලුන් පිටු දැකීමේ තරගාවලිය සහ විස්සයි 20 තරගාවලිය කල් දමන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු දුරකතනය ඔස්සේ තම සංගමයෙන් ඉල්ලා සිටි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු බ්‍රයන් තෝමස් මහතා පැවැසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයෙන් මෙවැනි ඉල්ලීමක් නොකළ බවය. එමෙන්ම කිසිම හේතුවක් මත අන්තර් පළාත් එක්දින තරගාවලිය කල් නොදමන බවත් එය නියමිත දිනවල දී පැවැත්වෙනු ඇති බවත් ඒ මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
මීට පෙරද අන්තර්සමාජ එක්දින තරගාවලිය හේතුවෙන් වෙළෙඳසේවා ක්‍රිකට් තරගාවලියේ දින වකවානු අවස්ථා 2කදීම වෙනස් කර ගැනීමට වෙළෙඳසේවා ක්‍රිකට් සංගමයට සිදුවීය.
අන්තර් පළාත් එක්දින තරගාවලියේ මූලික තරග වටය එස්.එස්.සී. පිටියේ දී පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය.
උපුල් තරංග රුහුණු පිලේ නායකයා ලෙස ද කුමාර් සංගක්කාර කඳුරට පිලේ නායකයා ලෙස ද කටයුතු කරන අතර තිලකරත්න ඩිල්ෂාන් බස්නාහිර පිලේ නායකයා ලෙසත්, මහේල ජයවර්ධන වයඹ කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කරයි. ඌව පළාත් පිලේ නායකත්වය දරනු ලබන්නේ තිළිණ කණ්ඩම්බි විසිනි.




No comments:

Post a Comment