Friday, January 7, 2011

අන්තර් සමාජ එක්දින ක්‍රිකටි



අන්තර් සමාජ එක්දින ක්‍රිකට්

එස්. එස්. සි. පිල අවසන් තරගයට

කෞෂාල් - සමරවීර අර්ධ ශතක රැස් කරති
එස්. එස්. සී. පිලේ නායක කෞෂාල් සිල්වා සහ මැද පෙළ පිතිකරු තිලාන් සමරවීරගේ විශිෂ්ට පිති හරඹය හේතුවෙන් ඊයේ (6) ආර්. පේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගමාලාවේ පළමු කොටසේ පළමු අවසන් පූර්ව තරගයෙන් එන්. සී. සී. පිලට එරෙහිව කඩුලු 5ක ජයක් අත්කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට එස්. එස්. සී. පිල සමත් විය.
කෞෂාල් සිල්වා පන්දු 96 කදී හතරේ පහර 9ක් සමග ලකුණු 65 ක් රැස් කළ අතර තිලාන් සමරවීර පන්දු 81 ක දී හතරේ පහර 5ක් සමග ලකුණු 53 ක් ලබා ගත්තේය.  දෙදෙනා අතර 4 වෙනි කඩුල්ල සඳහා ලකුණු 85 සබදතාවක් ගොඩ නැගුණි. ආරම්භක පිතිකරු තරංග පරණවිතාන ලකුණු 25 ක් රැස් කළේය. මහේල ජයවර්ධනට ලබා ගත හැකිවූයේ ලකුණු 5 ක් පමණි. එස්. එස්. සී. පිල කඩුලු 5 කට ලකුණු 221 ක් රැස්කරමින් තරඟයේ ජය අත්පත් කර ගත්තේ ඕවර 47.4 කදීය.
පන්දු යැවීමේදී ෆර්වේෂ් මහරූෆ් ලකුණු 40 කඩුලු 2ක් ද ලසිත් මාලිංග ලකුණු 38 කට කඩුලු 2ක්ද දවා ගත්හ. පළමුව පන්දුවට පහර දුන් එන්. සී. සී. පිල ඕවර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 220 ක් රැස් කළේය.  කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරනු ලැබුවේ ෆර්වේෂ් මහරූෆ්ය. ඔහු පන්දු 93 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමග ලකුණු 59 ක් රැස් කළේය.
චාමර කපුගෙදර ලකුණු 37 ක්ද ඇන්ජලෝ පෙරේරා නොදැවී ලකුණු 34 ක්ද ලබා ගත්හ. කුමාර සංගක්කාර රැස් කළ ලකුණු සංඛ්‍යාව 26 කි. පන්දු යැවීමේදී දිල්හාර ප්‍රනාන්දු ලකුණු 47 කට කඩුලු 3ක්ද නුවන් සොයිසා ලකුණු 33 කඩුලු 2ක්ද දවා ගත්හ. පළමු කොටසේ දෙවැනි දිවා රාත්‍රී අවසන් පූර්ව තරඟය අද (7) කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම අතර ආර්. පේමදාස පිටියේදීම පැවැත්වේ.

බී. ආර්. සී. පිල දෙවෙනි කොටසේ අවසන් තරගයට
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාප ක්‍රීඩාංගණයේදී ඊයේ (6) පැවැති පොලිස් හා බී. ආර්. සී. පිල අතර තරගයේදී කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට බී. ආර්. සී. පිල සමත්විය.
පොලිස් පිල (ඕවර 48.2) සියලු දෙනා දැවී ලකුණු 209 - තරිඳු වීරසිංහ (නොදැවී) 108, ධම්මික රාජපක්‍ෂ 44, නිමේෂ් පෙරේරා 32/3, නෙව්ලි ලියනගේ 47/2, ඇන්ඩි සොලමන් 36/2
බී. ආර්. සී. පිල (ඕවර 43.5) කඩුලු 5 ක් දැවී ලකුණු 210 - මොහොමඩ් අෂ්කර් 62, නිමේෂ් පෙරේරා 40, බුද්ධි සමරවික්‍රම නොදැවි 38, තරිඳු වීරසිංහ 53/2

No comments:

Post a Comment