Wednesday, February 9, 2011

බහුතරයට අමතක වී ඇති 1996 ජයග්‍රහණයේ අදිසි හස්‌තය

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මයා - ආනා පුංචිහේවා


ටෙස්‌ට්‌ තත්ත්වය ලබා සිටියද ගන්ධබ්බ අවධියක මෙන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රයේ පාවෙමින් තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව සැබෑ ලෙස "උප්පත්තියක්‌" ලැබුවේ 1995/1996 වකවානුවේය.

අද වන විට දැවැන්ත ක්‍රීඩාමය, ආර්ථික සහ ජනප්‍රිය පසුබිමක "ලොකු මහත්වෙමින්" සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට එම "පෝෂණය" ලැබීමේ ආරම්භය 1996 ලෝක කුසලාන ජයග්‍රහණය බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණකි. එහෙත් 1995 වන විට, ලෝක ශ්‍රේණිගත කිරීම්හි සිම්බාබ්වේට පමණක්‌ ඉහළින් සිටි ශ්‍රී ලංකාව වසරක ඇවෑමෙන් ලෝක ශූරයන් වීම හෙවත් වත්මන් "සශ්‍රීක ක්‍රිකට්‌ රාජ්‍යය බිහිකිරීමේ "ප්‍රාතිහාර්ය" පෑවේ කව්රුන්ද යන්න අද බොහෝ දෙනාට අමතක වී ඇත. නැත්නම් බොහෝ දෙනා එය නොදනිති. එනිසා, එම ජයග්‍රහණය පසුපස අදිසි හස්‌තය වූ ඒ මිනිසාව අපි සොයා ගියෙමු.

කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේ සුන්දර තණතිල්ල මැද පිහිටි කාර්යාලයක සිට හෙවත් ක්‍රිකට්‌ වලින් සහමුලින් වෙනස්‌ පරිසරයක සිට අපට එදා 96 ලෝක කුසලාන පෙළහර ගැන කියූ මොහු එවක ක්‍රිකට්‌ සභාපති වූ ආනා පුංචිහේවා මහතාය. නැතහොත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මහත්මයකු" වන මහත්වරුන්ගේ ක්‍රීඩාවේ එවක පරිපාලකයාය.

ශ්‍රී ලංකාව ලොව ක්‍රිකට්‌ බලවත් රාජ්‍යයන්ට ගව් කිහිපයක්‌ පහළින් සිටි කලක හෙවත් 1995 පෙබරවාරි මස ඔහු ක්‍රිකට්‌ සභාපති පුටුවේ අසුන්ගත්තේ වසර 2000 දී ශ්‍රී ලංකාව ලොව හොඳම කණ්‌ඩායම බවට පත්කරන බවට අභියෝග කරමිනි. එහෙත් 1996 මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලානක හිමිකාර රාජ්‍යය බවට පත්විය. මෙය අහම්බයක්‌ද? නැතිනම්.....

"එදා අපි ශ්‍රේණිගත කිරීම්වල සිම්බාබ්වේට විතරක්‌ උඩින් හිටපු කාලෙක මම එහෙම කිව්වහම (වසර 2000 ලොව හොඳම කණ්‌ඩායම) මිනිස්‌සු මට හිනා වුණා. ඇත්තටම මම ක්‍රිකට්‌ දැනගෙන හිටපු කෙනෙක්‌ නොවෙයි. මම දැනගෙන හිටියෙ පරිපාලනය විතරයි. ඒත් අපේ ක්‍රීඩකයන්ගේ දක්‍ෂතාව ගැන මට විශ්වාසයක්‌ තිබුණා. ඒ දක්‍ෂතාව නිශ්චිත ඉලක්‌කයකට යොමු කරන්නයි මට උවමනා වුණේ. මෙතැනදී පළමුවෙන්ම මට අවශ්‍ය වුණේ තමන් දක්‍ෂයන්ය කියන වග අපේ ක්‍රීඩකයන්ට තේරුම් ගන්වන්නයි. මේ ක්‍රීඩාවේ 90% ක්‌ මානසිකත්වය. පළමුවෙන්ම මම හැදුවෙ ඔවුන්ගේ ජයග්‍රාහී මානසිකත්වය. මම සභාපති තනතුරට පත්වෙලා සති 3 කින් නවසීලන්ත සංචාරය තිබුණා. මට ලොකු දෙයක්‌ කරන්න කල් තිබුණේ නැහැ. ඒත් මම ක්‍රීඩකයන්ගේ හිත්වලට කථා කළා. ඔවුන්ට දිනන්න පුළුවන් වග මම කිව්වා. අපිට අපේ රටින් පිට ටෙස්‌ට්‌ තරගයක්‌ දිනන්න බෑ කියලා පිටරටවල ක්‍රිකට්‌ ප්‍රවීණයෝ කියලා තිබුණත් අපි එදා නවසීලන්තෙදි රටින් පිට පළමු ටෙස්‌ට්‌ ජයග්‍රහණය ලබලා එම තරගාවලියත් දිනලා අපිට දිනන්න පුළුවන් කියන මානසිකත්වය හදාගත්තා.

පුංචිහේවා මහතා පවසන පරිදි ලෝක කුසලාන ඉලක්‌ක කරගත් වැඩපිළිවෙළක්‌ සකසන ලද්දේ එම ජයග්‍රහණය සවිය කරගනිමිනි.

"එතැනින් පස්‌සෙ මම හිතුවා බාහිර බලපෑම් වලට නතු නොවන පසුබිමක්‌ ඇති පුහුණුකරුවෙක්‌ අපිට අවශ්‍යයි කියලා. "අයියා මල්ලි" මට්‌ටමේ පුහුණුකරුවෙක්‌ හිටියොත් බාහිර බලපෑම් වලින් මිදිලා නිදහසේ කණ්‌ඩායම තෝරාගන්න, කණ්‌ඩායමත් එක්‌ක හැසිරෙන්න ඔහුට අපහසුයි. ඒ නිසා මම තීරණය කළා විදෙස්‌ පුහුණුකරුවකු ගේන්න. එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල වලින් මම ඒ සඳහා ඉල්ලීම් කළා. ලැබුණු ප්‍රතිචාර වලින් පස්‌සෙ ඔස්‌ටේ්‍රලියාවෙන් එවලා තිබුණු නම් දෙකින් ඩේව් වට්‌මෝර්ව තෝරා ගන්න මම තීරණය කළා.ලෝක කුසලාන නතු කරගැනීම පිටුපස "සුපිරි තීරණයක්‌" වූ වට්‌මෝර් තෝරාගැනීමට හේතුවද තාර්කිකය. ප්‍රායෝගිකය.

"වට්‌මෝර්ව තෝරාගන්න මූලික හේතු 2 ක්‌ තිබුණා. එකක්‌ ඔහු ඔස්‌ටේ්‍රලියාවේ විද්‍යාත්මක පුහුණු ක්‍රමවේදය දැන සිටීම. අනික ඔහු ශ්‍රී ලංකාවෙ ඉපදුණු කෙනෙක්‌ වීම. වට්‌මෝර් තම පුහුණු තාක්‍ෂණය හදවතින්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් යොදයි කියලා මම හිතුවා. ඒ අනුව ඔහු තමයි හොඳම සුදුස්‌සා වුණේ.

අනතුරුව පුංචිහේවා මහතා අපූරු දෙයක්‌ ප්‍රකාශ කළේය. ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ විජිතය සමග ශ්‍රී ලාංකිකයන්ගේ වන "බද්ධ වෛරය" නිවා සනසන්නට ඒ කරුණ ප්‍රමාණවත්ය. හිටපු ක්‍රිකට්‌ "ලොකු මහහත්තයා" පවසන අන්දමට එදා ලෝක කුසලාන දිනන්නටද, අනතුරුව අද ඇති ක්‍රිකට්‌ ස්‌ථාවරය ගොඩනගන්නටද පළමු "දානමය පරිත්‍යාගය" කරන ලද්දේ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයයි.

"එදා මම ක්‍රිකට්‌ භාරගන්නකොට අපේ ගිණුමෙ තිබුණේ රුපියල් ලක්‍ෂ 3 යි. වට්‌මෝර් ඉල්ලපු පඩිය අවුරුද්දකට ඩොලර් ලක්‍ෂයක්‌. ඉතින් ඒ ඉල්ලන පඩිය දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනකොට ඒ පඩිය දෙන්න ඉදිරිපත් වුණේ ඔස්‌ටේ්‍රලියා ක්‍රිකට්‌ මණ්‌ඩලය. සෘජුව නෙමෙයි. ඒ අය කිව්වා ඊළඟට යෙදිලා තිබුණු ඔස්‌ටේ්‍රලියානු සංචාරයේ වගකීමේ මුදල විදිහට ලබාදීමට නියමිත ඩොලර් ලක්‍ෂය, ඩොලර් ලක්‍ෂ 2 ක්‌ කරන්නම්. ඒකෙන් වැඩිපුර ලැබෙන ලක්‍ෂයෙන් වට්‌මෝර්ගේ පඩිය බේරන්න කියලා. ඒත් මේ මුදල් ප්‍රදානය ගැන කාටවත් කියන්න එපා කියලා ඔවුන් කිව්වා."

මුරලිව පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්‌ කළේත් ශ්‍රී ලංකාව පන්දුව පළුදු කළ බවට චෝදනා නැඟුණේත් මෙම ඔස්‌ටේ්‍රලියානු සංචාරයේදීය. ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර ක්‍රිකට්‌ වෛරය ඇරඹුණේ එලෙසය.

"ඔව් කිසිම දෙයක්‌ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ උවමනාවට කරපු දේවල් නෙමෙයි. ඔවුන් හරිම හොඳයි. අපි ඒ කෙණහිලිකම් ඔක්‌කොම කළේ එවකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් පිරිසකගේ උවමනාවට. ඒ බව මම හොඳට දන්නවා. ඒත් ඒ නම් කියන්න මම කැමති නැහැ."

වට්‌මෝර් කණ්‌ඩායම භාරගෙන මාස 1 1/2 කට පසුව භෞත චිකිත්සක ලෙස ඇලෙක්‌ස්‌ කොන්ටූරිව අවශ්‍ය යෑයි පැවසුවේය. ඔහු ඉල්ලූ පඩිය ඩොලර් 80,000 කි. යන්තමින් වට්‌මෝර්ගේ පඩිය සොයාගත් පුංචිහේවා මහතාට එයටද උපකාරයක්‌ ලැබුණි.

"ඔස්‌ටේ්‍රලියාවේ නිව් සවුත්වේල්ස්‌ ශ්‍රී ලංකා සංගමයට මම මේ බව දැන්වූවා. ඒ අය ඉදිරිපත් වුණා ඇලෙක්‌ස්‌ගේ පඩිය ගෙවන්න."

මේ ආකාරයට කණ්‌ඩායම ශක්‌තිමත් කළ පුංචිහේවා මහතා අනතුරුව තේරීම් කමිටු ප්‍රධානියා සහ කණ්‌ඩායම් කළමනාකරු ධුරයට දුලිප් මෙන්ඩිස්‌ව කැඳවමින් කණ්‌ඩායමට සමීප සම්බන්ධීකරණයක්‌ ඇති කළේය.

"පස්‌සෙ මම දුලිප්, අර්ජුන සහ වට්‌මෝර් මුණගැහිලා කිව්වා මම ක්‍රිකට්‌ දන්නෙ නෑ. ක්‍රිකට්‌ දන්නෙ ඔය අයයි. ඔයගොල්ලෝ ක්‍රිකට්‌ ගහන වැඩේ බලාගන්න. අපි කිසිම ඇඟිලි ගැසීමක්‌ ඒ අයගෙ වැඩ වලට කරන්නෙ නෑ. අවශ්‍ය දේ අපිට කියන්න. ඒ දේ අපි කරලා දෙන්නම් කියලා."

මේ නිදහස්‌ මානසිකත්වයෙන් පාකිස්‌තානයේ සංචාරය කළ ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරගාවලියත්, එක්‌දින තරගාවලියත් දෙකම ජයගත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට එවැනි දස්‌කමක්‌ කරමිනි. අනතුරුව පළමු වරට සාජා කුසලානය ශ්‍රී ලංකාවට හිමිවිය.

එම සංචාරවලින් අනතුරුව බෙන්තොටදී හිටපු සහ එවක ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ද, හිටපු සහ එවක පරිපාලකයන්ද එකතුවෙන් සිව්දින සමුළුවක්‌ කළ පුංචිහේවා මහතා ශ්‍රී ලංකාව ලොව අංක 1 ට ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් ගෙන ඒම පිණිස කෙටි කාලීන සහ දිගුකාලීන පියවර සහිත සැලසුමක්‌ සම්පාදනය කරගත්තේය.

පුංචිහේවා මහතාට අනුව මෙරට ක්‍රිකට්‌ ඉතිහාසයේ සුන්දරම අවස්‌ථාව හෙවත් විල්ස්‌ ලෝක කුසලාන ශ්‍රී ලංකාවට හිමිවීමේ මූලික හේතු දෙකෙන් එකක්‌ වන්නේ එම සමුළුවේදී ගත් තීරණය. අනෙක්‌ කරුණ නම් වට්‌මෝර්-අර්ජුන සහ දුලිප් එකතුවයි.

මෙලෙස කෙමෙන් කෙමෙන් ලෝක කුසලානට ශක්‌තිය ලැබූ ශ්‍රී ලංකාව, කොදෙව්වන් සහ ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාවේ තරගවලට සහභාගි නොවන බව (අනාරක්‍ෂිත තත්ත්වයක්‌ හුවාදක්‌වමින්) ප්‍රකාශ කිරීමත් සමග ලෝක කුසලාන තරගාවලියට පෙරම දෙදරුම් කෑමකට ලක්‌විය.

"එවකට විදේශ ඇමැති හිටිය කදිරගාමර් මහත්තයයි මමයි ඒ අයගෙ ආරක්‍ෂාව තහවුරු කරනවා කියලා සහතික වුණා. ඒකට අපේ ක්‍රමෝපායන් කිව්වා. ඒත් ඒ අය ආවෙ නැහැ. කොදෙව් ක්‍රිකට්‌ යෑපුනේ ඔස්‌ටේ්‍රලියාවේ සල්ලි වලින්. ඉතින් ඔස්‌ටේ්‍රලියාවෙ තීරණයට ඒ අයට සහයෝගය දෙන්න වුණා.

ඔය අතර සමහර ක්‍රිකට්‌ රටවල් කිව්වා ඒ දෙගොල්ලන්ට ලකුණු 2 බැගින් ප්‍රදානය කරන්න ඕනෙ කියලා. එතකොට මම ඇහුවා අපි ක්‍රීඩා කරන්න පුළුවන් වටපිටාව සකස්‌ කරලා තියෙද්දීත් ඒ අය එන්නෙ නැතිනම් අපි මොකටද ඒ අයට දිනුම දෙන්නෙ කියලා. පස්‌සේ කිව්වා අපිටත් ඒ අයටත් එක ලකුණ බැගින් බෙදමු කියලා. ඒකටත් අපි අකමැති වුණා. කණ්‌ඩායමක්‌ තරගයට එන්නෙ නැතිනම් වෝක්‌ "ඕවර්" එක ලැබෙන්න ඕනෙ අපිට කියල මම කිව්වා. අන්තිමේදී මේකට ජාත්‍යන්තර ක්‍රිකට්‌ සම්මේලන රැස්‌වීමක ඡන්දයක්‌ කැඳවන්න තීරණය වුණා. ඒත් එහෙම කළත් එක ඡන්දයකින් අපි පරදින්නයි යෙදිලා තිබුණේ. මම කොහොම හරි ඒ ඡන්ද විමසීම අදාළ දවසෙ රැස්‌වීමේ පළමු අංගය විදිහට දාගත්තා. අපේ වෙලාවට අපිට ඡන්දය නොදෙන්න හිටපු රටක්‌ ඒ වෙලාවෙ ඇවිත් හිටියෙ නැහැ. මම කිව්වා වෙලාව හරි කියා ඡන්ද විමසීම ගනිමු කියලා. අර රටේ නියෝජිතයා එනකොට ඡන්දය විමසලා ඉවරයි. අපි දිනුම්. ඉතින් තරගාවලිය පටන් ගන්නත් කළින් නිතරග ලකුණු 4 කින් අපි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා."

එහෙත් කරදර එතකින් නිමා නොවීය.

"ඡන්දෙ ඉවරවෙලා එලියට ආපු හැටියෙ කෙන්යාව කිව්වා අර රටවල් එන්නෙ නැති නිසා ලංකාවට පළමු රට විදිහට එන්න වෙලා තියෙන්නෙ අපිට. අපිත් බයයි. අපිටත් බෑ කියලා."

ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සහයෝගය මුල්වී ඉන්දු-පාකිස්‌තාන ඒකාබද්ධ "සාම කණ්‌ඩායමක්‌" අප රටට එවා අපට "සරණක්‌" වීමට කටයුතු යෙදෙන්නේ ඒ අනුවය. පුංචිහේවා මහතා පවසන අන්දමට එම තරගයට කටයුතු සූදානම් වූයේ එක රැයකිනි. ලහි ලහියේ ශ්‍රී ලංකාවට පැමිණි මෙම "සහෝදරත්වයේ කණ්‌ඩායම" නොබියව ශ්‍රී ලංකාවේ තරගවලට පැමිණීම පිණිස අනෙක්‌ කණ්‌ඩායම් වලට මග සලසා දුන්නේය.

"මම ඒ දවස්‌වල අර්ජුන හම්බවුණාම සිනාවෙනවා. ඔන්න ඔයාට කලින් මැච් දෙකක්‌ දිනවලා දුන්නෙ මම කියලා." යෑයි ජයග්‍රාහී හිනාවක්‌ සහිතව පුංචිහේවා මහතා පවසයි.

"ඒත් ඇත්තටම මම දැනගෙන හිටියා අපේ කණ්‌ඩායමට ඒ ලකුණු නැතත් ලෝක කුසලාන දිනන්න පුළුවන් කියලා. මොකද තරගාවලියට පෙර දුලිප් මං එක්‌ක කිව්වා ලෝකෙ අනිත් ඕනෑම කණ්‌ඩායමක පළමුව පිතිකරුවන් හත්දෙනා අපේ පිතිකරුවන් හත්දෙනා එක්‌ක සසඳලා බලන්න. අපේ අය ඉදිරියෙන් කියලා. ඒ කථාව මට ලොකු විශ්වාසයක්‌ ඇති කළා."

සිතූ අයුරින්ම ලෝක කුසලානේ පියවරෙන් පියවරට ගිය ශ්‍රී ලංකාවට අමතක නොවන ඊඩ්න් ගාඩ්න් අවසන් පූර්ව තරගය ගැනද අපි ඔහු සමග කථා කිරීමට අමතක නොකළෙමු.

"එදා තරගයේදී අපි දිනුවත්, කණ්‌ඩායමේ ආරක්‍ෂාව ගැන මට පීඩනයක්‌ තිබුණා. අපේ කණ්‌ඩායමට ලබාදෙන "බ්ලැක්‌ කැට්‌" ආරක්‍ෂාව දෙගුණ කරන්න කියලා මම ඉල්ලුවා. ඉන්දියාව ඒක කළා."

අවසන් මහා තරග ජයග්‍රහණ ගැන ඔහුගෙන් නොඅසා සිටිනු කෙසේද?

"අදටත් මට ඒක හීනයක්‌ වගෙයි"

ඒ හීනය සැබෑ කළ මේ මිනිසාව එම ජයග්‍රහණයෙන් සති 2 ක්‌ යැමට මත්තෙන් තවත් අදිසි හස්‌තයක්‌ ක්‍රියාත්මක වී කෙළෙහිගුණ නොදත් ලෙස පුටුවෙන් ඉවතට ඇද දැමීය.

"ඒ ගැන මට වේදනාවක්‌ නෑ. හොඳම දෙයක්‌ කරලා හොඳම තැනදි ඉවත්වුණහම හොඳ නම හැමදාම තියෙනවා." අද ඔහු ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයකු පමණි.

"මම ලංකාව වෙනුවෙන් ගෝල්ෆ් ගහපු කෙනෙක්‌. අද මගේ පළමු ආදරය ඒ ගෝල්ෆ් වලට."

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට ලොකුම ලොකු දෙයක්‌ කළ පුංචිහේවා මහතා පවසයි.

No comments:

Post a Comment