Monday, February 7, 2011

ලෝක කුසලාන විරළ වාර්තා ලාභී ලසිත් මාලිංග "ලෝකෙටම 1යි"



පන්දු යවන්නකු විසින් පිට පිටම යවන ලද පන්දු 3 කදී පිතිකරුවන් තිදෙනකු දවා ගැනීම හෙවත් "කඩුලු ත්‍රිත්වයක්‌" ලබා ගැනීම යනු ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී විරළ ක්‍රියාවක්‌ වශයෙන් වාර්තා වන්නකි. වසර 40 කට එහා ඉතිහාසයක්‌ ඇති එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී මේ වන විට පවත්වා ඇති තරග 3099 කදී(කොදෙව්-ශ්‍රී ලංකා තෙවැනි තරගය තෙක්‌) කඩුලු ත්‍රිත්ව ලබා ගැනීම් සටහන් වී ඇත්තේ අවස්‌ථා 27 කදී පමණක්‌ වන අතර එය අදාළ විරළ තත්ත්වය පෙන්නුම් කිරීමට ඇති හොඳම නිදසුනක්‌ වේ.

කඩුලු ත්‍රිත්වයකට එහා ගිය එසේත් නැත හොත් පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක්‌ දවා ගැනීමක්‌ද මේ වන විට එක්‌දින ක්‍රිකට්‌ වංශ කථාවට එක්‌ව තිබෙන අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පසුගිය 2007 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී එය වාර්තා විය.

එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේදී එක්‌ වතාවක්‌ පමණක්‌ වාර්තා ඇති වී අදාළ විරල වාර්තාවට සාම්ප්‍රදායික පන්දු යෑවීමේ ඉරියව්වට හාත්පසින්ම වෙනස්‌ ඉරියව්වකින් පන්දු යවනු ලබන පන්දු යවන්නකු උරුමකම් කියයි. මේ වන විටත් ලොව බොහොමයක්‌ පිතිකරුවන්ගේ දැඩි භිතිකාවක්‌ බවට පත්ව සිටින හෙතෙම අන් කිසිවකු නොව ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කරනු ලබන ලසිත් මාලිංග වේ.

2004 වසරේදී ඔස්‌ට්‍රේලියානුවන්ට එරෙහිව ඩාර්වින්හි පැවැති ටෙස්‌ට්‌ තරගයේදී ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර තරග වරම් ලබාගත් මාලිංගට ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කිරීම සඳහා වූ විශාල සුදුසුකමක්‌ වූයේද අදාළ අසාමාන්‍ය පන්දු යෑවීමේ ඉරියව්ව මෙන්ම එම පන්දුවල ඇති වේගවත් භාවය විය.

ඉතාමත් කෙටි කාලයක්‌ තුළ කණ්‌ඩායමේ ස්‌ථානය තහවුරු කර ගත් හෙතෙම දක්‍ෂතාව මෙන්ම තම කොණ්‌ඩා මෝස්‌තරයෙන් ලොව වැඩි දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත්වූවෙකි. යෞවනයේ කොණ්‌ඩා මෝස්‌තර වලින් ඔබ්බට ගොස්‌ ඇති මාලිංගගේ කොණ්‌ඩා මෝස්‌තරය ඔහුගේ පන්දු යෑවීම මෙන්ම ලෝකයට නැවුම් දෙයක්‌ එක්‌ කිරීමක්‌ විය.

2007 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහ තරගයේදී
ඔස්‌ට්‍රේලියානුවන් හමුවේ ශ්‍රී ලංකා කණ්‌ඩායම ලකුණු 53 කින්(ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව) පරාජය වුවද අවසන් මහ තරගය දක්‌වා පැමිණි එම ගමන් මගේදී මාලිංග විසින් දක්‌වන ලද දක්‍ෂතාද එම තරග අවස්‌ථාව තෙක්‌ පැමිණීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට මහෝපකාරී විය.

2007 වසරේ මාර්තු මස 27 වැනි දින ගයානාහි ප්‍රොවිඩන්ස්‌ ක්‍රීඩා පිටියේ පැවැති තරගය මාලිංගට ඉතා සුවිශේෂී තරගයක්‌ විය. ප්‍රභල පිතිකරුවන් රැසකගෙන් සමන්විත දකුණු අප්‍රිකානු කණ්‌ඩායම සමගින් පැවැති එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්‌ඩායම පන්දුවාර 49.3 කදී සියලුදෙනා දැවී ලකුණු 209 ක්‌ රැස්‌ කළේය.

පිළිතුරු ඉනිමේදී 45 වැනි පන්දු වාරය ක්‍රියාත්මක වීමට පෙර දකුණු අප්‍රිකානු ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක්‌ පමණක්‌ අවශ්‍යව තිබිණ. අදාළ ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම සඳහා ඔවුන්ට පන්දු 36 ක්‌ ඉතිරිව තිබූ අතර ඒ සඳහා කඩුලු 5 ක්‌ද අත විය.

එම හේතුව මත ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පරාජය නිසැක විය. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් එම ලකුණු 10 නැවතීම සඳහා කළ යුතු පිළියම් වූයේ ලකුණු නොදී දකුණු අප්‍රිකානු ඉතිරි කඩුලු 5 ම දවා ගැනීම හෝ ඉතිරි සියලුම පන්දුවලට ලකුණු ලබා නොදී පන්දු යෑවීම විය. අවිනිශ්චිතය යෑයි සැලකෙන ක්‍රිකට්‌ ක්‍රීඩාව තුළ එය ඉතාමත් අසීරු කරුණකි.

එවකට කණ්‌ඩායම් නායක මහේල ජයවර්ධන විසින් මාලිංගට 45 පන්දුවාරය යෑවීමට පන්දුව ලබා දුන්නේය. දකුණු අප්‍රිකානු ජය නිසැක වූ එම අවස්‌ථාවේදී මහේල විසින් මාලිංගට පන්දුව ලබා දෙන ලද්දේ තරගය පරාජයට පෙර තව එක්‌ කඩුල්ලක්‌ හෝ දවා ගැනීමේ අදහස පෙරදැරිව විය යුතුය.

දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් එම පන්දුවාරයේදී මාලිංගට මුහුණ දීමට සූදානම්ව සිටියේ හිටපු නායකයකු මෙන්ම ලොව දක්‍ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස සැලකෙන ෂෝන් පොලොක්‌ය.

පෙර පුරුද්දට මෙන් පන්දුව සිප ගනිමින් තම ගමන් වාරය ඇරඹූ මාලිංගගේ පළමු පන්දු 4 තුළදී ලකුණු 6 ක්‌ රැස්‌ කර ගැනීමට පොලොක්‌ සමත්වූවේය. එම පන්දුවාරයේ පස්‌වැනි පන්දුව ක්‍රියාත්මක වන අවස්‌ථාව උදාවිය. මාලිංගගේ තියුණු දැස්‌ පොලොක්‌ගේ පාද දෙකත් කඩුල්ලත් අතර පරාසය වෙත දිව යන්නට ඇත. යෝකර් පන්දු යෑවීමට වැඩි රුචිකත්වයක්‌ දක්‌වන මාලිංග විසින් පැයට කිලෝ මීටර 140 කට වඩා වේගයෙන් යවන ලද එම යෝකර් පන්දුවට තම කඩුල්ල බේරා ගැනීමට සඳහා පොලොක්‌ට කළ හැකි කිසිවක්‌ නොවීය. ප්‍රථඵලය වූයේ පන්දුව පා ඉන්නේ වැදීම මත පොලොක්‌ට පිටියෙන් ඉවත්වීමට සිදුවීමයි.

අනතුරුව පිටියට පිවිසියේ ඇන්ඩෘ හෝල්ය. අසාමාන්‍ය ඉරියව්වකින් පන්දුව එවූ මාලිංගගේ පන්දුව එන මාවත නිසියාකාරව ග්‍රහණය කර ගැනීමට හෝල් අපොහොසත් වීය. එහිදී කරනු ලැබුවේ තම පිත්ත පමණක්‌ පන්දුව දෙසට යොමු කිරීමයි. පිත්තේ වැදුණු පන්දුව කවර්ස්‌හි පන්දු රකිමින් සිටි උපුල් තරංගගේ අත් අතර සිරවීම මත හෝල්ට ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

ඒ වන විටත් පන්දු 109 කට මුහුණ දී ලකුණු 86 ක්‌ රැස්‌ කරගෙන සිටි ජැක්‌ කලීස්‌, දකුණු අප්‍රිකානු කණ්‌ඩායම් ජයග්‍රහණය ආසන්නය තෙක්‌ රැගෙන ගිය ප්‍රධාන නියමුවා විය. පිට පිට පන්දු දෙකකදී පිතිකරුවන් දෙදෙනකු දැවී ගියද තමාගේ කඩුලු ත්‍රිත්වය ලබාගැනීම වෙනුවෙන් යෑවීමට නියමිත තෙවැනි පන්දුවට මුහුණ දීමට සූදානමින් සිටින්නේ ජැක්‌ කලිස්‌ය. එතෙක්‌ වේලා කඩුල්ලේ රැඳී සිටි කලිස්‌ තමාගේ තෙවැනි පන්දුව නොහොත් කඩුලු ත්‍රිත්වය සඳහා යොමු කරනු ලබන පන්දුවට මුහුණදීමට සිටීම මත කඩුලු ත්‍රිත්වය පිළිබඳව අදහස මොහොතකට හෝ ලසිත් මාලිංගගේ සිතින් බැහැරව යන්නට ඇත.

පිට ඉන්නට මඳක්‌ ඈතින් කඩුල්ලෙන් පිටතට දෝලනය කරමින් යවන ලද පන්දුවට කලිස්‌ එලවා පහරක්‌ එල්ල කළේය. පිත්තේ පිට දාරයේ යන්තමින් වැදුණු පන්දුව කඩුලු රකින සංගක්‌කාරගේ අත් ආවරණ තුළ සිරවූයේ ලසිත් මාලිංගගේ නම ඉදිරියෙන් ලෝක කුසලාන තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක්‌ වාර්තා කරමිනි.

දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට සිදුවූයේ කිසි ලෙසකින්වත් නොසිතූ දෙයක්‌ විය. එතෙක්‌ පරාජය පිළිබඳව හිත හදාගෙන සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායමට මාලිංගගේ හපන්කම මත ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු ගොඩනැගින. එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් තවත් කඩුලු 2 ක්‌ දවා ගත යුතු වූ බැවින් එයද එක්‌ ලකුණු 2ක්‌ තුළදී දවා ගැනීම අසීරු කරුණක්‌ විය.

පිතිකරුවන් ලෙස නම් දැරූ සියලුම දෙනා දැවී ගොස්‌ තිබියදී දකුණු අප්‍රිකාවේ ජයග්‍රාහී ලකුණ රැස්‌ කිරීමට එවර පිටියට පිවිසියේ මකායා එන්ටිනිය. විනිසුරුවරයාගෙන් විමසීමෙන් පසු පන්දුවට පහරදීමේ සීමාව මායිම් කරගත් එන්ටිනි, මාලිංග විසින් එවනු ලබන සිව්වැනි පන්දුවට මුහුණ දීමට සූදානම්ය.

මාලිංගගේ අතින් ගිලිහී ගිය පන්දුව කෙළින්ම ඇදී ගියේ එන්ටිනිගේ කඩුල්ල සොයාගෙනය. පිත්ත පරයා යමින් පන්දුව කෙළින්ම එන්ටින්ගේ මැද ඉන්නේ වැදුණේ එක්‌දින තරග ඉතිහාසයේ මෙතෙක්‌ පන්දු යෑවීමකදී වාර්තා වූ සුවිශේෂීම අවස්‌ථාව සටහන් කරමිනි.

පිට පිටම පන්දු 4 කදී කඩුලු 4 ක්‌ දවා ගත් ලොව පළමු පන්දු යවන්නා ලෙස එම අවස්‌ථාවේදී අමරණීය වූ මාලිංග තම සතුටු ප්‍රකාශ කළේ අහස්‌ යාත්‍රාවක්‌ ඇදෙනා මෙන් තම අත් දෙක දෙපසට පද්දවමින් ක්‍රීඩා පිටිය මැද දුව යමිනි.

නොසිතූ ලෙස කඩුලු දැවී යැම මත ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් එක්‌ කඩුල්ලක්‌ දවා ගත යුතු වූ අතර දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 2 ක්‌ ලබාගත යුතුව තිබිණ.

එම මොහොතට පෙර කඩුලු 5 ක්‌ අතැතිව සිටි දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ හදිසියේ කඩා වැටීම මත දකුණු අප්‍රිකානු පිලේ අවසන් පිතිකරුවා වූ චාල්ස්‌ ලැංග්වෙල්ඩ් පන්දුවට පහරදීමට පිටියට පැමිණීමට සිදුවිය. ඒ වන විටත් කිසිදු සූදානමක්‌ නොතිබූ හෙතෙම පිටියට පිවිසියේ තරමක්‌ ප්‍රමාද වීමකින්ද අනතුරුවය.

අවසන් කඩුල්ල මත ඔහුට එල්ල කරන පීඩනය වැඩි වන අයුරින් පිටිය සකස්‌ කිරීමට ශ්‍රී ලංකා නායක ජයවර්ධන කටයුතු කළේය. මාලිංග ක්‍රියාත්මකය. පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක්‌ දවාගෙන සිටි මාලිංග දකුණු අප්‍රිකානු අවසන් පිතිකරුවාද දවාගනිමින් පිට පිටම පන්දු 5 කදී කඩුලු 5 ක්‌ දවාගත් ලොව පළමු ක්‍රීඩකයා වීමට බලාපොරොත්තුවෙන් පන්දුව යොමු කරනු ලැබීය.

පිතිකරුවකු ලෙස නම් දරා සිටින ක්‍රීඩකයකු වුවද අසීරුතාවට පත්වන තරමේ පන්දුවක්‌ එවර මාලිංග විසින් යොමු වූ අතර එය නවතා ගැනීමට ලැංග්වෙල්ඩ් අපොහොසත් විය. ලැංග්වෙල්ඩ්ගේ පිත්ත පසුකර ගිය පන්දුව කඩුල්ලට අඟල් භාගයකට පමණ මෙපිටින් ඇදී යැම මත පිට පිටම පන්දු 5 කදී කඩුලු 5 ක්‌ දවා ගැනීමට මාලිංගට තිබූ අවස්‌ථාව නූලෙන් මග හැරී ගියේය.

මාලිංගට එම අවස්‌ථාව ගිලිහී ගියද ශ්‍රී ලංකා ජයග්‍රහණයේ බලාපොරොත්තු එළෙසින්ම පැවතිණ. එහෙත් අවසානයේ එම පන්දුවාරයේ ඉතිරි පන්දු කිහිපය සහ වාස්‌ විසින් ක්‍රියාත්මක කරන ලද ඊළඟ පන්දු වාරයේදීද තම කඩුලු ආරක්‍ෂා කර ගැනීමට ලැංග්වෙල්ඩ්-රොබින් පීටර්සන් දෙදෙනා සමත්වූහ.

අවසානයේ මාලිංගගේ පන්දුවක්‌ පීටර්සන්ගේ පිත්තේ පිටත දාරයේ වැදී තර්ඩ් මෑන් කලාපයෙන් හතරේ සීමාව වෙත යැම මත තරගයේ ජයග්‍රහණය එක්‌ කඩුල්ලකින් දකුණු අප්‍රිකානු කණ්‌ඩායමට හිමිවිය. එහෙත් ප්‍රොවිඩන්ස්‌ පිටියේ මාලිංග එදා කළ වික්‍රමය එම තරගය නැරඹූ කිසිවෙකුට කිසි දිනෙක අමතක නොවනු ඇතෘ

No comments:

Post a Comment